Tuesday, 30 December 2014

--- රසවන්තිය ---


සඳලිය හිරු එළිය දිව රෑ දෙකෙහි..........නැඟේ
මිහිලිය නොනිමි ගමනකි සක් වලලු.........දිගේ
දෙව්ලිය සුර නිළිය පරදන රුසිරු...........ඇගේ
ගැමිලිය තරම් ඔය කිසිවෙක් නොවෙත.....අගේ

හකුලා පැදුර තව නොමැකුනු එළිය.........සඳේ
කුකුළා දෑස හැරියෙත් ඇගෙ හඬිනි.........උදේ
අකුලේ තුරු හිසේ කිචි බිචි විහඟ...........නදේ
උකුලේ දිය කළය ගවසා වඩින.............ළඳේ

අතුරා වී පැදුර නව හිරු.................පිලිගන්නී
පතුරා හස උවන දිනයට..............සැරසෙන්නී
අතුරේ ගිය දයා ගැන සිත...............විමසන්නී
මතුරා දෙතොල රැකවරණය...........අයැදින්නී

ගොම මැටි උලා බිම විල්ලුද පලස...........වැනූ
ගිමනට නොනිම් සිසිලස පොඩි පැලෙහි.....තැනූ
පමණට දොවා කිරි ටික කිරිමව්ට.............ඉනූ
සමවිය සෙනේ දරුට ද පැටියට ද...........ගොනූ

සූරයි දෑත හුරුකල හේනට................කෙතට
සාරයි ගොයම වල් නෙලු දිය බැඳි..........කලට
සේරම කාසියට නොව..............සකසුරුවමට
නෑරම තුන් වේල ගිණිදැල්වුනි..............ලිපට

කුස රැළි වසා හිමි දරු සා ගිණි..............නිව්ව
හස රැලි මවා දුක සංකා එහි.................දැව්ව
මිස රන් නොවේ විළි බිය ගත........සැරසෙව්ව
රස වන්තිය ඇයයි දිවියට පණ............පෙව්ව

--- ඉන්දු ලියනගේ ---26/11/14.

No comments:

Post a Comment