Friday, 21 November 2014

බිඳුනු පෙම් වත (4)

හමු වුනු නමුත්, පෙර සසරේ පැතුම......මතින්
ගත දෙතැනකය. එනමුදු  අපි එකම......සිතින්
බැතිබර හැඟුම් අමුණා එවු අකුරු........නිතින්
අදිටන් කලා එක් වන්නට  දිනෙක.......ගතින්

නැතුවම සිලෝ ගී ජය සක්............මංගල්ල
මැදියම ඔබේ අත රඳවා.............පෙම්මල්ල
නිසසල දිය නිදන කළපුව..............ඕවිල්ල
දෙහදක් එක් කලා.කුමටද?.........රන්තැල්ල

විහිදන නැවුම් පෙති මත සඳරැස්..........අතුරා
සුපිපෙන කුමුදුනිය සුසුවඳ  රැය...........පතුරා
ඉපැදුනු පෙම් හැඟුම් ඔබ තුරුලෙම.......මතුරා
බැඳි බැමි කඩා යන්නට හැරියෙමි........උතුරා

දෙහදක උපන් පෙම පදනම් පවුරු..........ඉරා
හිමියනි අපි අපෙම වු'නමුත් ලොවට.....හොරා
සුමියුරු මධු මතක සදහට සිත්'හි............දරා
සමුදුනි අපි, අපිට ලොව ඉඩ ලැබෙන......තුරා

ඇගෙ පෙම නුඹ වෙතයි හැඳිනූ.......දිනේ සිට
මගෙ අඩු ලුහුඬු මයි ගැනුනේ..........කතාවට
නැති දොස සොයමින්ම ම'වෙතම..නිගාකොට
දිවියම ඇද දැමී මිහි මත.................අපායට

ඇය පෙම ඔබට ඔය තරමට සිත........ගත්තේ
'මියැදෙමි' සපථ කළ හින්ද ද, ඔබ......මත්තේ
නොබැඳුනු නමුදු රන් තැළි නළලත....මත්තේ
මම වෙමි. බිරිඳ හිමියනි, නොමැකෙන චිත්තේ

ඇවිදින මනු කයකි,සිත සිතිවිලි........මැරුණූ
යළි යළි දැවෙයි ලද නුඹෙ රිදවුම්........දරුණූ
ඔබ අදිටන සඵල වන්නට දොර........හැරුණූ
මගෙ කඳුළැලි,ම  වේවා!!! මංගල.....කරුණූ

--- ඉන්දු ලියනගේ --- 9/11/14.

සවිය වෙමි මං නුඹට

කඩුපුල් පුදන්න මැදියම් රෑ කන්දෙ...........විහාරෙට
වදනින් නොකීව ඔය හිත දැනුනා..........අඩමානෙට
දෝතට දරාන ගෙන ආවත් බුදු හිමි..............ගාවට
කවුරුන්  වඩාන ඒවිද?.නුඹ මං නැති............දාකට

ගිනි අවිය දරන් විමසිලි නෙත යොමද්දි.........වටපිට
මෙහි යනෙන දනා අතර නුඹේ වත එයි......මතකෙට
දිගු මෙහෙය නිමාවක සිනහව විඳගනු..........ලහියට
ඉබි ගමන මොකෝ හිතෙනව මේ ඔරලෝසුව.....මට

කිරි සුවඳ දෙන්න ආදරයෙන් පිරි පොඩි.......නිවසට
නුඹෙ තනි මැකෙන්න ගී ගයන්න  දවස.......පුරාවට
පොඩි තොටිල්ල ගේ මැද තියන්න අපෙ හිත තිබුනට
නුඹ නුඹ නිසාම හඬයි අනේ හිත දෙන්නෑ ........මට

සරතැස නිවන්න සිනා පොදක් නගාන.........මුවගට
සුමියුරු තනුවක් ගයන්න නිදි යහන්.ගැ.......බේ සිට
මහ බරක් කියා හිතන්නෙපා කවදාවත්............මට
නුඹෙ දෑත දෙපා වෙන්නම් දිව් තිබෙන.......තුරාවට

--- ඉන්දු ලියනගේ --- 3/11/2014.

බිඳුනු පෙම් වත (3)

එදා ගං තෙර සුසුදු වැල්ලේ තුරු ලතා පිපි මල් දළූ
විදා හැමු මුදු සුළං රැල්ලක ගෙනා සීතක් ගත පෙළූ
බදා ගෙන පපු තුරට ලං කර අතුරලා උණුසුම් සළූ
සදා දුන් ඔය හදේ සෙනෙහස ගියාදෝ අද වී ගොළූ

මුදා ගන්නට තවත් බැහැ සිත නැඟෙන සිතිවිලි  නුඹ කෙරේ
හදා දෙන්නට එකම සැරයක් ඇවිත්‍ යනවද  පින්  පිරේ
සදා ඉන්නට සුරත් මලක'ව පැතුම් පිරුවත් දිවි තෙරේ
යොදා දුන්නට විසැති හීයක් නුඹෙන් මිදුනා අඬ'ඳුරේ

හඬා වියැළුණු සෙනෙහෙ කතරට අරා එයි නම් දියවර
විඩා සිඳුවා කටොර බිම මත පිපේ සුවඳැති  ඉඳුවර
වඩා හිඳුවනු නොහැකි නම් මා  ඔබේ සුවිසල්     පුරවර
දොඩා වදනක් යන්න සුවදෙයි හතක් සවනට  බණවර

සෙනෙහස නොනිමී

සිහි වී නැඟෙන සිතිවිලි හද පතුල............රිදී
විහි දා ලියන්නට සුරු කල අකුරු............මදී
මිහි රී ගී ගයා කොපුලත සුවඳ................දිදී
අහි මී සතපවන්නට නුඹ ළඟම..............රැඳී

මුදු මුව කමළ සිසි වත පරයන.............උදුල
බඳු පිය තෙපුල බිඟු ගුමුවක රස...........උතුල
අඳු රෙනි එළිය දෙන මගෙ දිවියට........සකළ
ඉඳු නිල් මිණකි රිවි කිරණකි ඇය ......ගෙ'තුල

හැඳ සුදු ගවොම පිපි වතුසුදු මලෙකි.........දිස
බැඳ ටයි පටිය මහ දැනමුත්තියක .........ලෙස
කොඳ මල් කැකුළ හිමිදිරි මද පවන ........පිස 
වැඳ පිතු දෙපා අකුරට පිය නගන ...........යස

ඳඟකාරියයි ඇය මගෙ පොඩි බඩ..........පිස්සී
මිග නෙත් කැළුම් බබලයි සෙනෙහස ....වැස්සී
ඉඟ සොළවමින් ගී තාලෙට පය ...........ඉස්සී
රඟ පෑමටද නැටුමට එක වගෙ.............දස්සී  

ඉඳ හිට එබුන කල පොත් අල්මාරි...........යට
මඳ කුදු නොඅඩු කරදහි ගුලි ගෝනි..........යට
සඳ තරු අහස මැද විහඟුන් පේලි ............යට
ඇඳ ඇඳ මැකූ සිතුවම් වෙති හීනි.............යට

'නිරතුරු සිහිනයෙන් අම්මේ,ඔබ..........දකිමී'
'තොරතුරු කිමද, එන තුරු මම මග ......බලමී'
සර තැස නිවන නුඹෙ මුදු තෙපුලෙහි....ගිලෙමී
සුර තල් දියණියේ මගෙ සෙනෙහස ...නොනිමී

--- ඉන්දු ලියනගේ --- 15/11/14.

බිඳුනු පෙම් වත (2)

 
දුක්  කවකට.....තාල සෙව්ව.. හිත අද්දර පැතුම්.... ලියා
කප් පරකට..... හීන  ලිව්ව.... නුඹමයි ඒ මහත්..... තයා
නෙත් පිය යට.. පාට මැව්ව ... පෙම් හමුවට තිතක්.. තියා
මල් ලොවකට.. පාර කිව්ව.... ආදර හිත මගෙන්.... ගියා

මුත් ලොවකට..පෑව මුහුණ මුව අද්දර සිනහ .........තියා
සත් දිගකට.... පාව ගිහින් පිපිරුණු හිත රිදුම්.........ලියා
වත් කමකට... තිබුණු එකම ඇමතුම "සුදු මැණිකෙ"...... කියා
සිත් තමකට... නගනු කොහොම තෙලිතුඩ නුඹ රැගෙන ගියා

හිත් බිත.....මත නුඹගෙ නමට කප්පරකට සෙනෙහෙ ලියා
සෙත් සිත.. මයි පැතුවෙ නුඹට කිසි කලෙකත් මගෙම කියා
මත්,කැත,..බාඳුරා,සලෙළ,සංකර,සුළු, ළඳක්......... කියා
රත් වත.... මිග නුවන් විලස දුටු නුඹ අද යන්න...... ගියා

--- ඉන්දු ලියනගේ -- 15/10/14.

නොරටක මෙහෙය

සිසිලස ගත සිපින පිණිබර..නොවැම්බරේ
සය වැනිදාය අද දෙදහස්........දහ හතරේ
හිමිදිරි පින්න රැඳි පන්හිඳ ගෙන.....මිතුරේ
කවි පද බඳින්නෙමි මෙහෙවර...අතරතුරේ

මා,පිය,සොයුරු,හිමි,සහ දෙදරුගෙන්..මිදී
ආ දින සිහිව හද ඉකිබිඳ හැඬෙයි........රිදී
පා කර පැතුම් අවුරා සිත හැඟුම්......පොදී
කාළය ඉගිළුනා දහ අට මසක්..........ඇදී

හිමිදිරි හයට වැඩ මුරයට..........පිවිසුමය
පසලොස් පැයක මෙහෙවරකට...ගිවිසුමය
ගෙරවිලි උල්පතකි නික වැනි....පැසසුමය
සිහිකර සබැඳියන් පැතුවේ.........ඉවසුමය

කළුවර රෑ නවය හැඬවෙන.......කණිසමට
පියවර මනිමි තනිකම ගෙන.....නැවතුමට
අමතා හිමි ද, දූ දරු සිත් සතුටු........කොට
ඇස වැසු දිනක් නැත.පෙර,මැදියම්...රැයට

දෙ'අත ද දෙපා මෙන් මුළු ගත රුදා....දෙන
ස'දිනක මෙහෙය අග එකමෙක දිනේ..එන
තිබුනත් කෙලක් දෑ කටයුතු සිතේ.....පැන
එ'දිනට ටිකක් නිදනෙමි ඇඳ......බදාගෙන

බුදිනෙමි යමක් මිලදී බොහො කලට..කඩෙන්
නොදැනුනි ප්‍රියක් නොපිරුනි හරි අඩක් බඩෙන්
ඉඳ හිට දිනෙක මෙහෙයට පසු ලැබුනු..ඉඩෙන්
පිසුවෙමි යමක් අඩු මුත් හුරු රසැති....හැඩෙන්

සිතිවිලි පොර බදයි හිමි,දරු, මතක.......කියා
මැසිවිලි මුව කියයි තනිවම දෙනෙත.......පියා
කටුකය ලද දිවිය නොරට,ට දියව.........ගියා
ළඟදිම කැදැල්ලට එන්නෙමි සෙනෙහෙසොයා

--- ඉන්දු ලියනගේ --- 6/11/14.

කිටියයි මමයි


පොඩි කාලෙදි මව්පියන්ට උදව් පදව් වෙන්න කියා
ඉස්කෝලෙදි ලැබු ඔවදන් ලොකු අකුරෙන් සිතෙහි ලියා
මුළු තැන්ගෙයි මැටිපිල මත කොටහිරමනෙ ගෙනත්තියා
මට මතකයි පොල් ගෑ හැටි "ජිංගි බරස් ,බරස්" කියා

පිරිමැදලා ඉල්ලු ගමන් අසවල් දේ දෙන්න කියා
හිතපු දේම මවල දුන්නු ඇලඩින්ගේ පහන නියා
කොහේ ඉඳන් සැපත් වුනිද මන්ද?. වලිගෙ කරේ තියා
පොල් කෑල්ල ගන්න කොටම එතැන අපේ "සුදු කිටියා"

සෙනෙහස පාමින් දෙපයේ දැවටී මායම් සීයක්
දමමින් "පුරු පුරු " සද්දෙන් ගයනව අමුතුම ගීයක්
'ඤාව්' 'ඤාව්' "මටත් ටිකක්" කියන විටම බටු මීයෙක්
'මීක්' ගාන හඬට කිටිය විද්දෙ සැරෙන් වගෙ හීයක්

කටු අකුලේ,නෙල්ලි කැලේ, වාරම් කවියක් අල්ලා
අවුරුදු කාලෙට විතරයි,අපිට තිබුණෙ ඔන්චිල්ලා
සුදු කිටියට එහෙම නැතේ,ගෙයි මුල්ලක,ඇති එල්ලා
පැදුරු වාන මත පැද්දේ,දවස පුරා නිදි     ගුල්ලා

අතොරක් නැති,වහින වැස්ස චිරි,චිරි,චුරු,චුචුරු කියා
දිය බිඳු ගෙන හැමු සුළඟින් ගත හිරි ගඩු පිපී ගියා
තිබුණා නම් අදත් ඉන්න පුංචි කාලෙ සිටි  සැටියා
පොරවාගෙන හොඳට නිදමි තුරුළු කරන් "සුදු කිටියා"

--- ඉන්දු ලියනගේ --- 22/10/14.