Tuesday, 30 December 2014

--- රසවන්තිය ---


සඳලිය හිරු එළිය දිව රෑ දෙකෙහි..........නැඟේ
මිහිලිය නොනිමි ගමනකි සක් වලලු.........දිගේ
දෙව්ලිය සුර නිළිය පරදන රුසිරු...........ඇගේ
ගැමිලිය තරම් ඔය කිසිවෙක් නොවෙත.....අගේ

හකුලා පැදුර තව නොමැකුනු එළිය.........සඳේ
කුකුළා දෑස හැරියෙත් ඇගෙ හඬිනි.........උදේ
අකුලේ තුරු හිසේ කිචි බිචි විහඟ...........නදේ
උකුලේ දිය කළය ගවසා වඩින.............ළඳේ

අතුරා වී පැදුර නව හිරු.................පිලිගන්නී
පතුරා හස උවන දිනයට..............සැරසෙන්නී
අතුරේ ගිය දයා ගැන සිත...............විමසන්නී
මතුරා දෙතොල රැකවරණය...........අයැදින්නී

ගොම මැටි උලා බිම විල්ලුද පලස...........වැනූ
ගිමනට නොනිම් සිසිලස පොඩි පැලෙහි.....තැනූ
පමණට දොවා කිරි ටික කිරිමව්ට.............ඉනූ
සමවිය සෙනේ දරුට ද පැටියට ද...........ගොනූ

සූරයි දෑත හුරුකල හේනට................කෙතට
සාරයි ගොයම වල් නෙලු දිය බැඳි..........කලට
සේරම කාසියට නොව..............සකසුරුවමට
නෑරම තුන් වේල ගිණිදැල්වුනි..............ලිපට

කුස රැළි වසා හිමි දරු සා ගිණි..............නිව්ව
හස රැලි මවා දුක සංකා එහි.................දැව්ව
මිස රන් නොවේ විළි බිය ගත........සැරසෙව්ව
රස වන්තිය ඇයයි දිවියට පණ............පෙව්ව

--- ඉන්දු ලියනගේ ---26/11/14.

Friday, 21 November 2014

බිඳුනු පෙම් වත (4)

හමු වුනු නමුත්, පෙර සසරේ පැතුම......මතින්
ගත දෙතැනකය. එනමුදු  අපි එකම......සිතින්
බැතිබර හැඟුම් අමුණා එවු අකුරු........නිතින්
අදිටන් කලා එක් වන්නට  දිනෙක.......ගතින්

නැතුවම සිලෝ ගී ජය සක්............මංගල්ල
මැදියම ඔබේ අත රඳවා.............පෙම්මල්ල
නිසසල දිය නිදන කළපුව..............ඕවිල්ල
දෙහදක් එක් කලා.කුමටද?.........රන්තැල්ල

විහිදන නැවුම් පෙති මත සඳරැස්..........අතුරා
සුපිපෙන කුමුදුනිය සුසුවඳ  රැය...........පතුරා
ඉපැදුනු පෙම් හැඟුම් ඔබ තුරුලෙම.......මතුරා
බැඳි බැමි කඩා යන්නට හැරියෙමි........උතුරා

දෙහදක උපන් පෙම පදනම් පවුරු..........ඉරා
හිමියනි අපි අපෙම වු'නමුත් ලොවට.....හොරා
සුමියුරු මධු මතක සදහට සිත්'හි............දරා
සමුදුනි අපි, අපිට ලොව ඉඩ ලැබෙන......තුරා

ඇගෙ පෙම නුඹ වෙතයි හැඳිනූ.......දිනේ සිට
මගෙ අඩු ලුහුඬු මයි ගැනුනේ..........කතාවට
නැති දොස සොයමින්ම ම'වෙතම..නිගාකොට
දිවියම ඇද දැමී මිහි මත.................අපායට

ඇය පෙම ඔබට ඔය තරමට සිත........ගත්තේ
'මියැදෙමි' සපථ කළ හින්ද ද, ඔබ......මත්තේ
නොබැඳුනු නමුදු රන් තැළි නළලත....මත්තේ
මම වෙමි. බිරිඳ හිමියනි, නොමැකෙන චිත්තේ

ඇවිදින මනු කයකි,සිත සිතිවිලි........මැරුණූ
යළි යළි දැවෙයි ලද නුඹෙ රිදවුම්........දරුණූ
ඔබ අදිටන සඵල වන්නට දොර........හැරුණූ
මගෙ කඳුළැලි,ම  වේවා!!! මංගල.....කරුණූ

--- ඉන්දු ලියනගේ --- 9/11/14.

සවිය වෙමි මං නුඹට

කඩුපුල් පුදන්න මැදියම් රෑ කන්දෙ...........විහාරෙට
වදනින් නොකීව ඔය හිත දැනුනා..........අඩමානෙට
දෝතට දරාන ගෙන ආවත් බුදු හිමි..............ගාවට
කවුරුන්  වඩාන ඒවිද?.නුඹ මං නැති............දාකට

ගිනි අවිය දරන් විමසිලි නෙත යොමද්දි.........වටපිට
මෙහි යනෙන දනා අතර නුඹේ වත එයි......මතකෙට
දිගු මෙහෙය නිමාවක සිනහව විඳගනු..........ලහියට
ඉබි ගමන මොකෝ හිතෙනව මේ ඔරලෝසුව.....මට

කිරි සුවඳ දෙන්න ආදරයෙන් පිරි පොඩි.......නිවසට
නුඹෙ තනි මැකෙන්න ගී ගයන්න  දවස.......පුරාවට
පොඩි තොටිල්ල ගේ මැද තියන්න අපෙ හිත තිබුනට
නුඹ නුඹ නිසාම හඬයි අනේ හිත දෙන්නෑ ........මට

සරතැස නිවන්න සිනා පොදක් නගාන.........මුවගට
සුමියුරු තනුවක් ගයන්න නිදි යහන්.ගැ.......බේ සිට
මහ බරක් කියා හිතන්නෙපා කවදාවත්............මට
නුඹෙ දෑත දෙපා වෙන්නම් දිව් තිබෙන.......තුරාවට

--- ඉන්දු ලියනගේ --- 3/11/2014.

බිඳුනු පෙම් වත (3)

එදා ගං තෙර සුසුදු වැල්ලේ තුරු ලතා පිපි මල් දළූ
විදා හැමු මුදු සුළං රැල්ලක ගෙනා සීතක් ගත පෙළූ
බදා ගෙන පපු තුරට ලං කර අතුරලා උණුසුම් සළූ
සදා දුන් ඔය හදේ සෙනෙහස ගියාදෝ අද වී ගොළූ

මුදා ගන්නට තවත් බැහැ සිත නැඟෙන සිතිවිලි  නුඹ කෙරේ
හදා දෙන්නට එකම සැරයක් ඇවිත්‍ යනවද  පින්  පිරේ
සදා ඉන්නට සුරත් මලක'ව පැතුම් පිරුවත් දිවි තෙරේ
යොදා දුන්නට විසැති හීයක් නුඹෙන් මිදුනා අඬ'ඳුරේ

හඬා වියැළුණු සෙනෙහෙ කතරට අරා එයි නම් දියවර
විඩා සිඳුවා කටොර බිම මත පිපේ සුවඳැති  ඉඳුවර
වඩා හිඳුවනු නොහැකි නම් මා  ඔබේ සුවිසල්     පුරවර
දොඩා වදනක් යන්න සුවදෙයි හතක් සවනට  බණවර

සෙනෙහස නොනිමී

සිහි වී නැඟෙන සිතිවිලි හද පතුල............රිදී
විහි දා ලියන්නට සුරු කල අකුරු............මදී
මිහි රී ගී ගයා කොපුලත සුවඳ................දිදී
අහි මී සතපවන්නට නුඹ ළඟම..............රැඳී

මුදු මුව කමළ සිසි වත පරයන.............උදුල
බඳු පිය තෙපුල බිඟු ගුමුවක රස...........උතුල
අඳු රෙනි එළිය දෙන මගෙ දිවියට........සකළ
ඉඳු නිල් මිණකි රිවි කිරණකි ඇය ......ගෙ'තුල

හැඳ සුදු ගවොම පිපි වතුසුදු මලෙකි.........දිස
බැඳ ටයි පටිය මහ දැනමුත්තියක .........ලෙස
කොඳ මල් කැකුළ හිමිදිරි මද පවන ........පිස 
වැඳ පිතු දෙපා අකුරට පිය නගන ...........යස

ඳඟකාරියයි ඇය මගෙ පොඩි බඩ..........පිස්සී
මිග නෙත් කැළුම් බබලයි සෙනෙහස ....වැස්සී
ඉඟ සොළවමින් ගී තාලෙට පය ...........ඉස්සී
රඟ පෑමටද නැටුමට එක වගෙ.............දස්සී  

ඉඳ හිට එබුන කල පොත් අල්මාරි...........යට
මඳ කුදු නොඅඩු කරදහි ගුලි ගෝනි..........යට
සඳ තරු අහස මැද විහඟුන් පේලි ............යට
ඇඳ ඇඳ මැකූ සිතුවම් වෙති හීනි.............යට

'නිරතුරු සිහිනයෙන් අම්මේ,ඔබ..........දකිමී'
'තොරතුරු කිමද, එන තුරු මම මග ......බලමී'
සර තැස නිවන නුඹෙ මුදු තෙපුලෙහි....ගිලෙමී
සුර තල් දියණියේ මගෙ සෙනෙහස ...නොනිමී

--- ඉන්දු ලියනගේ --- 15/11/14.

බිඳුනු පෙම් වත (2)

 
දුක්  කවකට.....තාල සෙව්ව.. හිත අද්දර පැතුම්.... ලියා
කප් පරකට..... හීන  ලිව්ව.... නුඹමයි ඒ මහත්..... තයා
නෙත් පිය යට.. පාට මැව්ව ... පෙම් හමුවට තිතක්.. තියා
මල් ලොවකට.. පාර කිව්ව.... ආදර හිත මගෙන්.... ගියා

මුත් ලොවකට..පෑව මුහුණ මුව අද්දර සිනහ .........තියා
සත් දිගකට.... පාව ගිහින් පිපිරුණු හිත රිදුම්.........ලියා
වත් කමකට... තිබුණු එකම ඇමතුම "සුදු මැණිකෙ"...... කියා
සිත් තමකට... නගනු කොහොම තෙලිතුඩ නුඹ රැගෙන ගියා

හිත් බිත.....මත නුඹගෙ නමට කප්පරකට සෙනෙහෙ ලියා
සෙත් සිත.. මයි පැතුවෙ නුඹට කිසි කලෙකත් මගෙම කියා
මත්,කැත,..බාඳුරා,සලෙළ,සංකර,සුළු, ළඳක්......... කියා
රත් වත.... මිග නුවන් විලස දුටු නුඹ අද යන්න...... ගියා

--- ඉන්දු ලියනගේ -- 15/10/14.

නොරටක මෙහෙය

සිසිලස ගත සිපින පිණිබර..නොවැම්බරේ
සය වැනිදාය අද දෙදහස්........දහ හතරේ
හිමිදිරි පින්න රැඳි පන්හිඳ ගෙන.....මිතුරේ
කවි පද බඳින්නෙමි මෙහෙවර...අතරතුරේ

මා,පිය,සොයුරු,හිමි,සහ දෙදරුගෙන්..මිදී
ආ දින සිහිව හද ඉකිබිඳ හැඬෙයි........රිදී
පා කර පැතුම් අවුරා සිත හැඟුම්......පොදී
කාළය ඉගිළුනා දහ අට මසක්..........ඇදී

හිමිදිරි හයට වැඩ මුරයට..........පිවිසුමය
පසලොස් පැයක මෙහෙවරකට...ගිවිසුමය
ගෙරවිලි උල්පතකි නික වැනි....පැසසුමය
සිහිකර සබැඳියන් පැතුවේ.........ඉවසුමය

කළුවර රෑ නවය හැඬවෙන.......කණිසමට
පියවර මනිමි තනිකම ගෙන.....නැවතුමට
අමතා හිමි ද, දූ දරු සිත් සතුටු........කොට
ඇස වැසු දිනක් නැත.පෙර,මැදියම්...රැයට

දෙ'අත ද දෙපා මෙන් මුළු ගත රුදා....දෙන
ස'දිනක මෙහෙය අග එකමෙක දිනේ..එන
තිබුනත් කෙලක් දෑ කටයුතු සිතේ.....පැන
එ'දිනට ටිකක් නිදනෙමි ඇඳ......බදාගෙන

බුදිනෙමි යමක් මිලදී බොහො කලට..කඩෙන්
නොදැනුනි ප්‍රියක් නොපිරුනි හරි අඩක් බඩෙන්
ඉඳ හිට දිනෙක මෙහෙයට පසු ලැබුනු..ඉඩෙන්
පිසුවෙමි යමක් අඩු මුත් හුරු රසැති....හැඩෙන්

සිතිවිලි පොර බදයි හිමි,දරු, මතක.......කියා
මැසිවිලි මුව කියයි තනිවම දෙනෙත.......පියා
කටුකය ලද දිවිය නොරට,ට දියව.........ගියා
ළඟදිම කැදැල්ලට එන්නෙමි සෙනෙහෙසොයා

--- ඉන්දු ලියනගේ --- 6/11/14.

කිටියයි මමයි


පොඩි කාලෙදි මව්පියන්ට උදව් පදව් වෙන්න කියා
ඉස්කෝලෙදි ලැබු ඔවදන් ලොකු අකුරෙන් සිතෙහි ලියා
මුළු තැන්ගෙයි මැටිපිල මත කොටහිරමනෙ ගෙනත්තියා
මට මතකයි පොල් ගෑ හැටි "ජිංගි බරස් ,බරස්" කියා

පිරිමැදලා ඉල්ලු ගමන් අසවල් දේ දෙන්න කියා
හිතපු දේම මවල දුන්නු ඇලඩින්ගේ පහන නියා
කොහේ ඉඳන් සැපත් වුනිද මන්ද?. වලිගෙ කරේ තියා
පොල් කෑල්ල ගන්න කොටම එතැන අපේ "සුදු කිටියා"

සෙනෙහස පාමින් දෙපයේ දැවටී මායම් සීයක්
දමමින් "පුරු පුරු " සද්දෙන් ගයනව අමුතුම ගීයක්
'ඤාව්' 'ඤාව්' "මටත් ටිකක්" කියන විටම බටු මීයෙක්
'මීක්' ගාන හඬට කිටිය විද්දෙ සැරෙන් වගෙ හීයක්

කටු අකුලේ,නෙල්ලි කැලේ, වාරම් කවියක් අල්ලා
අවුරුදු කාලෙට විතරයි,අපිට තිබුණෙ ඔන්චිල්ලා
සුදු කිටියට එහෙම නැතේ,ගෙයි මුල්ලක,ඇති එල්ලා
පැදුරු වාන මත පැද්දේ,දවස පුරා නිදි     ගුල්ලා

අතොරක් නැති,වහින වැස්ස චිරි,චිරි,චුරු,චුචුරු කියා
දිය බිඳු ගෙන හැමු සුළඟින් ගත හිරි ගඩු පිපී ගියා
තිබුණා නම් අදත් ඉන්න පුංචි කාලෙ සිටි  සැටියා
පොරවාගෙන හොඳට නිදමි තුරුළු කරන් "සුදු කිටියා"

--- ඉන්දු ලියනගේ --- 22/10/14.

Friday, 25 July 2014

බිඳුනු පෙම් වත


ලි ය න්න ට සිතුනා  කවක් - මට අපේ බිඳි පෙම් වත ගැන
බැඳෙන්නට තිබු  නෑකමක් - ගිලිහුණා දෛවය විල   සින
සි ත න්න ට ලද නෑ  ඉඩක් - ගොළු වුනේ කිම ඔබ හද වෙණ
හි ඳි න්න ට හැක කාලයක් - යලි සොයා එයි නම් පිය මැන

පැ  තු  ම් සරු බිජු   වැපිරුවේ - මල් පිපී හිනැහෙනු දකින්නයි
ගෙ තු  ම් ලියකම් ඇමිණුවේ - පෙම් කුටිය කළ එලි කරන්නයි
සු  පෙ ම්   ගී  පද     මිමිණුවේ - දුර හැර ගිමන් පුබුදු වන්නයි
නොනිම් සෙනෙහස සිඳලුවේ - ඇගෙ රුවන් විමනෙහි රැඳෙන්නයි

උදා  හිරු  දැක    පුබුදු  වේවා - ලතා මත මල්  සඳැල්ලේ
නඳා සමනල     රැඟුම්   දේවා - රැයේ දහවල    මුළුල්ලේ
විදා  සොම්නස  පැතිර යේවා - වලාකුළු ලෙස නිදැල්ලේ
සදා  කල් සෙනෙහස රැඳේවා - ඔබේ ආදර     කැදැල්ලේ

---- ඉන්දු ලියනගේ ---- 25/7/2014.

Friday, 18 July 2014

නොහැක සමුදෙන්න

දෑත් පටලන්  නුඹත් මේ සසර              පුරාවට
මාත් සමගින් එක්ව ආවාද                 සිතේමට
ඒත් කඳුළක් තියා සෙනෙහසේ           කතාවට
ඈත් වු'නමුත් නොහැක සමු දෙන්න   අතීතෙට

වියෝවී  ගියා නුඹ සදාකාලික                   දුරට
ගලාවී    කඳුළු වැල් විඩාබර නෙතු           අගට
පෙලාවී  හද ගැඹර එදා මතකේ               රුවට
දයාවී     නුඹේ මං සිනාසෙන්නම්         ලොවට

සිතිවිල්ල වෙලා මං බඳින විරහවෙ         කවට
සෙවනැල්ල වගේ ලඟ හිදිනු එතෙමින්   අවට
ඇසිපිල්ල වරා නිදි විඩාබර වුනු             කළට
මැසිවිල්ල කියාපන් තබා සෙනෙහස    පෙරට

අරුණැලි උදේගලන රිවිගෙ දහරා          දිගේ
සෙවනැලි සදන් හිසට තුරු හිස් ලතා      වගේ
පවනැලි  ලෙසින් පෙලන දාහය  නිවා    අගේ
දලවැලි මතින් ඇදෙන සතපන් දෙපා     මගේ  
 
සුසුමෙන් හදේ නැගෙන රිදවුම් මකා     ගන්න
කඳුළින් නෙතේ ඇදෙන සිතුවම් දොවා ලන්න
හැඟුමන් ගතේ දැවෙන සිසිලෙන් සදා   ඉන්න
සිහිනෙන් රැයේ නළළ සුවඳක් තබා      යන්න

නික්ම යමි

වත් කමක් නෑ රැගෙන යන්නට
රුවා ගෙන යමි මතකයන්
හිස් බවක් නොම දැනේ සෙනෙහස
පුරා තැබුවෙමි පෙර සිටන්

ඉක්ම ගිය වග වටහා ගන්නම්
වසත් කාලය මා කෙරෙන්
නික්ම යන්නම් ඉතින් සමුගෙන
ඔබේ පෙම් හද පුද'සුනින්

නිමේෂයකදි මදක් හැරුනෙමි
දැනී ඔබ මගෙ අත අරන්..
අනන්තය පමණමැ'යි අබියස
දිරිය ගෙන පා තබමි මං

ගියත් නොහැඟෙන තරම් තනි
කම හදවතම ඔබ රජ කරන්..
සිහිනයෙන් වත් ඔබේ මතකෙට
එන්නෙ නෑ මම රත්තරන්....

---- ඉන්දු ලියනගේ ----

දහම බණ වඩවන්න රටක් අවැසිය සිතව්

කුඩාපොල තොටගමුවෙ විදාගම හිමි.............. වරුන්
දුටුගැමුණු ඇහැලේපොල ගොංගාලෙ විරු....... දරුන්
පුදාදිවි රැක දුන්නු දැය නසන මග................... මරුන්
නිගාදෙති,පෙරට යන දනට,    "හීතල.......... හොරුන්"
සිව්රක්ද සරමක්ද මල් වැටුනු..................... ගවුමක්ද
දෙටුවෙක්ද සෙටුවෙක්ද බාල වියෙ........... දරුවෙක්ද
පෙරමුණට පය තිබ්බෙ දැයක් වෙනුවෙන්. නොවෙද
උන්ට දෙස් දෙවන්නට තොපට විලි බිය......... නැද්ද
ලොව තලේ කිතුනුවන් බොදුනුවන් ........වල හෙලා
වරිගෙ බෝ කර ලොවම අල්ලනවා ...,.......තම්බිලා
කලෙක බොදු දේශ වූ මහ නගර......,,... කෙලෙසලා
බොදු සමරු වෙඩි දමා පුපුරවා ...........,......අළු කලා
උඹට මට උරුම වූ නිමල දහමක්................. වෙතේ
දහම කල් පවතින්ට රටක් ඇවැසිව.............. ඇතේ
දේවවාදියො වටින් හඬතලන දස.................. අතේ
බවුන් වඩනට තොපට ඉඩක් දේවිද............... පුතේ
සසර එගොඩට යන්න දහම අවැසිය.............. සිතව්
දහම බණ වඩවන්න රටක් අවැසිය............... සිතව්
දැයක් තුල දහමකට ඉඩක් අවැසිය................ සිතව්
ඉඩක් දේවිද උනට රටක් ගිය කල................. සිතව්
බලය ලොව පතුරවමු එයයි උන්ගේ............... දහම
එවන් දහමට එරෙහි නෑ නැගෙන්නේ........... උන්ම
මෙත් වඩනු සව් සතට උගත්තත් අපි........... එහෙම
දවා හළු කරන තුරු මෙත් වඩන්නේ...... කොහොම
අවි දරා වනසන්ට නැහැ තොපට............. පැවසුවේ
නිදි ඉරා නැගිටියව් ජන රළට.................. ඇමතුවේ
උන් අරා පොළු මුගුරු යුධයකට.............. කැඳවුවේ
මව් මරා යන තුරුම මෙත් වඩනු.......... මම නොවේ
-----ඉන්දු ලියනගේ -----
25/6/2014

හැසිරෙමු බුදු මගෙහි

කාළය...........රන් සෙයකි-මිල කර කිව....නොහැකි
ආලය.........දුක් ගොඩෙකි-ඇලෙනුයෙ..මෝඩයෙකි
ලෝකය.........රඟ බිමෙකි-මෙ'සසර බිය.....කෙලකි
නාමය.........නොම වියැකි-ගුණ කඳ ලොව.....සුරැකි

පානය..............මධු,පුරති-සව් දිය තොල.....තෙමති
හීනය...........නන් දොඩති-අසි හිය සැරි..........සරති
රාගය..........කය නැගෙති-විලි බිය නොම...දැනෙති
කී දෙය......සිහි නොවෙති-කල දෙය මන..නොයෙති

සුමිතුරු........සහ කෙළිති-කහවණු විසි.........කරති
නම............දැරු රිය පදිති-සුර පුර සැප..........විඳිති
රස..........පිරු දිව ගුණැති-අහරට වග...........කියති
විසිතුරු...........ගත කරති-කුණුකය තර....කෙරෙති 

යහනෙක....සඳුන් සතපති-මස් පිඬු...............තළති
මුව නෙක...අඳුන් ගල්වති-රතදර......... ... ලෙලෙති
වියතෙක...ඇඳුම් ඇඟලති-දන ඇස............සොයති
රමනෙක සයෙන් කැඳවති-අකුසල.................පුරති

තුන් යම.........බණ අසති-කිසිවක් මනස.........නැති
අන් හට...........දම් දෙසති-පිළි පැදි'යවුන්.........නැති
සන්තක........ධන බලැ'ති-දනකට හිතක්..........නැති
පන්සිල්.........නිති ගනිති-සුරකින අයෙක්........නැති

ඉපදිමු.........මනු කුලෙහි-බොහො කුසලින්..කලෙහි
ඇසුවෙමු..ගුණ ලොවෙහි-හිමි දෙසු දම්.........කඳෙහි
හැසිරෙමු.......බුදු මගෙහි-දුක දැක බව..........සකෙහි
පිවිසෙමු....මොක් පුරෙහි-දොර වෙත මෙම....බවෙහි

   ----- ඉන්දු ලියනගේ ---- 06/07/2014.

පාසල වෙත ඇයි ප්‍රමාද

බලන් ඉන්නෙ බය වෙලාද
ගුටි වැදුනම රිදෙනවාද
පාසල වෙත ඇයි ප්‍රමාද
ගහන්න පෙර අඬනවාද
දණ ගහගෙන ඉන්න තිව්වෙ
මොකද හැරිල යන්න දිව්වෙ
පාඩම් පොත ගන්න කිව්වෙ
ඉඳගෙන දැන් මිදුලෙ අව්වෙ
රතු දැස ම බිමට අයා
ඉවත බලන් නෑසු නියා
බුම්මාගෙන ඉන්න ඔයා
පන්තියෙ ඳග මල්ල මෙයා
ගෙදර වැඩට දුන්නු ගනන්
හැදුවෙ නැතුව වලිගෙ වනන්
දුවන පනින මෙහෙම දනන්
කවද යයිද දැනුම දිනන්
බියෙන් දෙකන් පෙති ගැස්සේ
දිලෙයි කඳුළු නෙතු අස්සේ
පිටු පා නොපෙනෙන රිස්සේ
මගේ දෑත ඇස පිස්සේ

---- ඉන්දු ලියනගේ ----

මා නෙතු...සරසන්...මදහස


යා යෙක..පි පි ලා..පෑ'නෙක-මනරම්...රැඟුමින්.....ගිරිහිස
යාමෙ ක..ඇ ඳි ලා...රෑ'නෙක-සිතුමන්...මවමින්...මියුලස
තාලෙ ක..ර ස'ලා...පෑනෙක-තුඩු අග....බඳිමින්....කවිරස 
සී නෙක..වෙලිලා....සී තෙක-මා නෙතු...සරසන්...මදහස

--- ඉන්දු ලියනගේ --- 1/7/2014

නෑයෝ


බිඟුවන්ට, ගුමුවන්ට, රොන් ගන්ටමයි------ හිත
කඩියන්ට, දිමියන්ට, ඇ වි දි න් ට මයි------- හිත
අලියන්ට, ළමයින්ට, න ලි ය න් ට මයි------ හිත
වේයන්ට, නෑයන්ට, ව න ස න් ට මයි------- හිත

------ ඉන්දු ලියනගේ -------

කනක් නොඇසූ ලෙසින් ගමනක් තවත් කතරේ යති යතී

.
දු ක   ක්......වැනසූ.......මෙවන්...දහමක්..........ඇතත්  සිරුරේ.........එති එතී
ක න  ක්..නොඇසූ.... ලෙසින්...ගමනක්............තවත්  කතරේ .........යති යතී
ම ද   ක්........ඉවසූ........සිතින්....බිඳුවක්............දකිත්  සසරේ........ ඇති ගතී
ලොවක්....සැනසූ.........එවන්....සුවයක්......කොහෙත්  මිතුරේ.... ..නැති නැතී

---- ඉන්දු ලියනගේ ---- 2/7/2014.

මිහිරී නදේ මැකුණා


වැතිරී ඇදේ නොව මුළු හද........පුරාම
ඉතිරී සඳේ සිසිලෙන් හැම.......රැයේම
දහිරී සිදේ මැවෙනා කල..........රුවේම
මිහිරී නදේ මැකුණා කලු.........වරේම

තොත්තූ


සොඳුරේ ඔයා මගෙමයි හද වත............ගත්තූ
මැ දු රේ තියා සනසමි පවරා...............වස්තූ
හැ සි රේ නියා නොදුටුව ලෙස නොම....දත්තූ
මි හි රේ කියා පන් අද කෝ රස.......තොත්තූ

---- ඉන්දු ලියනගේ ----

------- කඩතුරාව -------


යනෙන හැම එක තැනක් ගානේ බුදුන් පිළිරූ..... දකින්නේ
දකින නොදකින වරක් පාසා සාදූ.. සාදූ............. කියන්නේ
නෙතින බැති බර බැළුම් උතුරා දොහොත් මුදුනේ වඳින්නේ
තුටින ඔද වී මහ මෙරක් සේ පින් කලා යයි .......සිතන්නේ

මගක දුටුවොත් යාචකාදී දුප්පතුන් මග............. හැර පියා
පුද පඬුරු දී දෙවොල් ගානේ යදී දෙවියන් .........ගුණ කියා
වැදු මව් පිය අසරණයි නෑ මහළු නිවසෙත්......... ඉඩ තියා
නිවන් යන්නට පාර විමසති බුදු හිමිගෙ ගුණ..... කඳ ගයා

ගමේ පන්සල බලය මඳ යයි හැර දමා පාළුයි .............හරී
බුදු කුටිය පාළුවට හැරිලා වෙහෙර මළුව ද වල් ...........පිරී
පහන් සිළුවක් දැවුණු දිනයක් මානයෙක නෑ බැලු...... හැරී
අපේ ලොකු හාමුදුරුවොත් හෙට සිව්රු හැර යයි කළ..කිරී

කොහේදැයි මේ කුමට යන්නේ කිසිවෙකුට නෑ.... වැට හිලී
යනු'න් පස්සේ වැටී යනවා මිල මුදල් හා ........සැන කෙලී
පින් වඩන්නත් අළුත් තාලෙට කාසි ඕනැලු........ සළු පිලී
අදින් තුන් වසරකින් යා හැකි වේලු නිවනේ....... මඟ ගිලී

උතුම් බුදු හිමි දෙසූ සදහම් අමා ගුණ දම් කඳ ..........නසා
සිතුම් මවමින් මුලා කරගෙන බාල අණුවන දන ......මෙසා
ගෙතුම් කොට තව අලුත් දහමක් රැගෙන යන මාවත දෙසා
පැතුම් පැතුවට පලක් වේවිද එතෙර වන්නට දුක........ නසා

-----ඉන්දු ලියනගේ----- 7/7/2014

කින්නරාවිය


සඳ මලට පෙම් බැන්ද දුර සිට කින්නරාවිය ................නුඹමදෝ
පිපි කුමුද මකරන්ද ගෙන ගිය පාට අත්තටු .................සිඳුනදෝ
විල් දියට රසඳුනක් එක කළ රන් තඹර පෙති...........සැලුනිදෝ
නුඹෙ හැඟුම් ගෙන ගගන සිතුවම් ඇන්ද ඒ රුව..............දුටුවදෝ

----- ඉන්දු ලියනගේ ----- 8/7/2014.

------අම්මා-----


පිරි සිත දයාවන්
හුරු කොට දම් අමාවන්
හැදු වැඩු මනාවන්
මවුනි, ඔබ මට වාසනාවන්...!

ඔවා ගුණ රැන්දූ
සවනට මිහිර කැන්දූ
මිහිරි නද බැන්දූ
ඇයයි නැලවුවෙ ගයා සින්දූ

ඇකයෙහි සතපමින
සෙමෙන් හිස පිරිමදිමින
නලවා සෙනෙහසින
සුරැකුවේ මා ඇගේ පණ මෙන

වරද දුටු තැන දී
තරවටු කලත් නද දී
මා හඬන විට දී
ඇයත් හැඬුවා කඳුළු බර දී

ජය පැරදුම සදා
දිවියට උරුම නිබඳා
පෙරට යන් නොනිදා
මාව දිරිමත් කලේ සැමදා

මගේ හොඳ අම්මා
ඔබෙ ගුණ නොමැත නිම්මා
හද බැතිනි පෙම්මා
දෙපා වඳිනෙමි සිරස නම්මා

---- ඉන්දු ලියනගේ ----

මගේ පෙම් සිත

---
ළයට.....හිරවී ගත වෙලී ඉමි ඔබගෙ උණුසුම..............වින්දනීයයි
මුවට.....ලංවී නෙතු වසාගෙන සිඹින් ලවනත...............රංගනීයයි 
නෙතට..හිනැහී මියුරු මුමුනන වදන් රහසින්..............ප්‍රෙමණීයයි 
ඔබට.....වෙන් කල මගේ පෙම් සිත සදාතනිකයි.........නන්දනීයයි

---- ඉන්දු ලියනගේ ---- 10/7 2014.

තොස්..පිරි කෙළි

---
තොස්..පිරි කෙළි.....දෙලින් කවට - කම් බැහැවගෙළමා...වියේ
ඇ ස්...බර කර..........ඇදෙන් එපිට - විස්තර ගම යාවි.......බියේ
රැ ස්...වුනු පෙම්.........වදන් වැලට - අමුණා තනු රිදී..........රැයේ
බ ස්...මුමු ණමු හොරෙන් ලොවට - රන් සඳ පායනා.......පැයේ

--- ඉන්දු ලියනගේ --- 14/ 7/ 2014.

හැදෙයිද සන්තානේ


හිත රිදිච්ච පැය ගානේ
තව ගෙවිච්ච වරු ගානේ
මුව මුලිච්චි නොවුනට - තැලිච්චි මගෙ හිත
ඉකි බිද හැඬුවානේ....

මල් පිපිච්ච මද පවනේ
පිණි ඉහිච්ච තුරු සෙවනේ
මුව තිබිච්ච සෙනෙහස - පෙනිච්ච තරමට
නැතිවද හද අරණේ.....

තරු වැටිච්ච හඳ පානේ
අත වෙලිච්ච රෑ ගානේ
දෙඩු පැහිච්ච කම් ගැන - ගනිච්චි නැතුවට
ගතු කියවෙනවා නේ....

දුක හිතිච්ච හැම වේලේ
පද ගෙතිච්ච නෙක තාලේ
හද පළිච්චි ගැහුවට - කැඩිච්ච එළිවැට
හැදෙයිද සන්තානේ...

--- ඉන්දු ලියනගේ --- 18/7/2014.