Friday, 21 November 2014

නොරටක මෙහෙය

සිසිලස ගත සිපින පිණිබර..නොවැම්බරේ
සය වැනිදාය අද දෙදහස්........දහ හතරේ
හිමිදිරි පින්න රැඳි පන්හිඳ ගෙන.....මිතුරේ
කවි පද බඳින්නෙමි මෙහෙවර...අතරතුරේ

මා,පිය,සොයුරු,හිමි,සහ දෙදරුගෙන්..මිදී
ආ දින සිහිව හද ඉකිබිඳ හැඬෙයි........රිදී
පා කර පැතුම් අවුරා සිත හැඟුම්......පොදී
කාළය ඉගිළුනා දහ අට මසක්..........ඇදී

හිමිදිරි හයට වැඩ මුරයට..........පිවිසුමය
පසලොස් පැයක මෙහෙවරකට...ගිවිසුමය
ගෙරවිලි උල්පතකි නික වැනි....පැසසුමය
සිහිකර සබැඳියන් පැතුවේ.........ඉවසුමය

කළුවර රෑ නවය හැඬවෙන.......කණිසමට
පියවර මනිමි තනිකම ගෙන.....නැවතුමට
අමතා හිමි ද, දූ දරු සිත් සතුටු........කොට
ඇස වැසු දිනක් නැත.පෙර,මැදියම්...රැයට

දෙ'අත ද දෙපා මෙන් මුළු ගත රුදා....දෙන
ස'දිනක මෙහෙය අග එකමෙක දිනේ..එන
තිබුනත් කෙලක් දෑ කටයුතු සිතේ.....පැන
එ'දිනට ටිකක් නිදනෙමි ඇඳ......බදාගෙන

බුදිනෙමි යමක් මිලදී බොහො කලට..කඩෙන්
නොදැනුනි ප්‍රියක් නොපිරුනි හරි අඩක් බඩෙන්
ඉඳ හිට දිනෙක මෙහෙයට පසු ලැබුනු..ඉඩෙන්
පිසුවෙමි යමක් අඩු මුත් හුරු රසැති....හැඩෙන්

සිතිවිලි පොර බදයි හිමි,දරු, මතක.......කියා
මැසිවිලි මුව කියයි තනිවම දෙනෙත.......පියා
කටුකය ලද දිවිය නොරට,ට දියව.........ගියා
ළඟදිම කැදැල්ලට එන්නෙමි සෙනෙහෙසොයා

--- ඉන්දු ලියනගේ --- 6/11/14.

No comments:

Post a Comment