පොඩි කාලෙදි මව්පියන්ට උදව් පදව් වෙන්න කියා
ඉස්කෝලෙදි ලැබු ඔවදන් ලොකු අකුරෙන් සිතෙහි ලියා
මුළු තැන්ගෙයි මැටිපිල මත කොටහිරමනෙ ගෙනත්තියා
මට මතකයි පොල් ගෑ හැටි "ජිංගි බරස් ,බරස්" කියා
පිරිමැදලා ඉල්ලු ගමන් අසවල් දේ දෙන්න කියා
හිතපු දේම මවල දුන්නු ඇලඩින්ගේ පහන නියා
කොහේ ඉඳන් සැපත් වුනිද මන්ද?. වලිගෙ කරේ තියා
පොල් කෑල්ල ගන්න කොටම එතැන අපේ "සුදු කිටියා"
සෙනෙහස පාමින් දෙපයේ දැවටී මායම් සීයක්
දමමින් "පුරු පුරු " සද්දෙන් ගයනව අමුතුම ගීයක්
'ඤාව්' 'ඤාව්' "මටත් ටිකක්" කියන විටම බටු මීයෙක්
'මීක්' ගාන හඬට කිටිය විද්දෙ සැරෙන් වගෙ හීයක්
කටු අකුලේ,නෙල්ලි කැලේ, වාරම් කවියක් අල්ලා
අවුරුදු කාලෙට විතරයි,අපිට තිබුණෙ ඔන්චිල්ලා
සුදු කිටියට එහෙම නැතේ,ගෙයි මුල්ලක,ඇති එල්ලා
පැදුරු වාන මත පැද්දේ,දවස පුරා නිදි ගුල්ලා
අතොරක් නැති,වහින වැස්ස චිරි,චිරි,චුරු,චුචුරු කියා
දිය බිඳු ගෙන හැමු සුළඟින් ගත හිරි ගඩු පිපී ගියා
තිබුණා නම් අදත් ඉන්න පුංචි කාලෙ සිටි සැටියා
පොරවාගෙන හොඳට නිදමි තුරුළු කරන් "සුදු කිටියා"
--- ඉන්දු ලියනගේ --- 22/10/14.
No comments:
Post a Comment